Lanka Morning

ඇමැති සජිත් “ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාම‌යෙන් පිදුම් ලබයි

ඇමැති සජිත් “ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාම‌යෙන් පිදුම් ලබයි

ඇමැති සජිත් “ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාම‌යෙන් පිදුම් ලබයි
April 01
19:42 2019

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව මගින් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත පිරිනැමුණු “ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමය පිරිනැමීමේ උත්සවය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2019 මාර්තු මස 31 වන දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝෂිතාගාරයේ දී  සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි මහ විහාර පාර්ශ්වය නියෝජනය කරමින් එම පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඬරුවේ උපාලි යන ස්වාමීන් වහන්සේලා ඇතුළු මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්වල මහා සංඝ රත්නයත්, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා,  රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,  මුදල් අමාත්‍ය මංගල සමරවීර,  ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ,  ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්,  කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් යන මහත්වරුන් ඇතුළු  දේශපාලඥයන්, සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

එහිදී අගමැතිවරයා කළ කතාව පහත දැක්වේ.

ද මල්වතු හා අස්ගිරි පාර්ශව විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාට විශේෂ ගෞරවයක් ලබාදුන්නා. ඔහුගේ චරිතය සහ සේවය විග්‍රහ කරමින් අද මෙම ගෞරවය පිරිනැමීම සිදුවුණා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා තම පියාගේ අඩිපාරේ යමින් විශාල සේවයක් සිදු කරනු ලබනවා. දිවංගත රණසිංහ පේ‍ර්මදාස මැතිතුමන් කළ සේවය ගැන සිහිපත් කිරීමේදී කතරගම හා මාලිගාවිල පුදබිම් පමණක් නොව කොළඹ පැවැත්වෙන ප්‍රධාන පෙරහැරක් වන නවම් පෙරහැරද එතුමා විසින් ආරම්භ කළ බව අමතක නොකළ යුතුයි.

දිවංගත රණසිංහ පේ‍ර්මදාස මැතිතුමා රටට කළ සේවය මෙන්ම සජිත් පේ‍ර්මදාස මැතිතුමා ද විශාල වශයෙන් නිවාස ලබා දීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. නිවාස ලබාදීම පිළිබඳව බුද්ධ ධර්මයේ ද සඳහන් වෙනවා. ධම්ම පදය ආරම්භ කරන්නේ ද නිවාස පිළිබඳ සඳහන් කරමිනුයි. එහිදී අපේ ජීවිතය හා තෘෂ්ණාව නම් නිවසට සමාන කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා ඉටු කරන්නේ ජනතාවට අත්‍යාවශ්‍ය නිවාස ලබාදීමයි. නිවසක් නැත්නම් අපට ජීවිතය පවත්වා ගැනීමට අපහසු වෙනවා. ඒ නිසා එතුමාගේ පියානණ් ආරම්භ කළ නිවාස වැඩසටහන සජිත් පේ‍ර්මදාස මහතා ඉතා උනන්දුවෙන් ඉදිරියට පවත්වා ගෙන යනු ලබනවා.

සජිත් මැතිතුමා නව ගම්මාන පිහිටුවනවා. ඒ සඳහා මාර්ග සකස් කරනවා. ඒ තුලින් ජනතාවගේ ජීවිත වලට අලෝකයක් මෙන්ම ශක්තියක් ලබා දෙනවා. එසේම එතුමා බුද්ධාගම අමතක කළේ නෑ. සසුනට අරුණ, දහම් පාසල් ඇතුළු චරිතය ගොඩනගන වැඩසටහන් රැසක් සජිත් ඇමතිතුමා විසින් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව සමාජ සේවයක් ලෙස එතුමා විවිධාකාරයෙන් ජනතාවට උදව් උපකාර කරනවා. සමස්ථයක් වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ දක්ෂතාවය මත අද මෙම ගෞරව සම්මානය පිරිනමා තිබෙනවා.

සජිත් පේ්‍රමදාස මැතිතුමා ඊයේ හම්බන්තොට වීරවිල ප්‍රදේශයට ජාත්‍යන්තර ක්‍රිඩාංගනයක් සහ ජාත්‍යන්තර තරුණ සේවා මධ්‍යස්ථානයක් ලබා දුන්නා. මමත් එම අවස්ථාවට සහභාගි වුණා. ඇත්ත වශයෙන්ම සජිත් මැතිතුමාට හම්බන්තොට ප්‍රදේශයේ දේශපාලනය සඳහා තරඟ කළ යුතු නැහැ. එතරම් ප්‍රසිද්ධියක් ඔහුට තිබෙනවා.එතුමා දුප්පත් ජනතාව සමඟ සිටිමින් ඔවුන්ට කරන සේවය අපි අගය කළ යුතුයි. එතුමා ඒ තුලින් රටට ලබාදෙන ආදර්ශය ද මෙම ගෞරව සම්මානය පිරිනැමීමට හේතු වී තිබෙනවා.

ගෞරව සම්මාන පිරිනැමීම රජය විසින් ද සිදු කරනවා. නමුත් ආගමික පාර්ශව විසින් ලබා දෙන ගෞරවය ඊටත් වඩා ඉහලයි. මෙම ගෞරව සම්මාන පිරිනමනු ලබන මල්වතු ශාලාව අපේ රටේ ඉතිහාසයේ කොටසක් ලෙස පැවසිය හැකියි. කීර්තී ශ්‍රී රාජසිංහ රජ සමයෙන් පසු යළි ශාසනය ස්ථාපනය කිරීම, උපසම්පදාව ආරම්භ කිරීම මෙම ස්ථානයේදී සිදු වුණා. සියම් නිකාය විසින් මිහිදු මහ රහතන් වහන්සේ ආරම්භ කළ මහා විහාර සිරිත ඉදිරියට ගෙන යනු ලබනවා.

කාලයක් ක්‍රියාත්මක නොවූ එම සිරිත අපි සියමෙන් ලබා ගත්තා. එම සියම් නිකාය පොළොන්නරුව යුගය දිඹුලාගල සිට සුකතායි නගරයට ගෙන ගියා. සුකතායි නගරයෙන් පසු අගනගරය වූ අයුක්තියට ගෙන ගියා. පළමුවෙන් විජය රාජසිංහ රජතුමා යටතේ හා දෙවනුව කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා යටතේ ද දූත කණ්ඩායම් අයුක්ති නගරයට ගියා. අපට ලැබී ඇති මෙම මල්වතු අස්ගිරි පාර්ශවය නොහොත් සියම් නිකාය ඇත්ත වශයෙන්ම ඉපැරණි මහා විහාර සිරිතයි. වෙනත් රටක එවැනි ඉපැරණි සිරිතක් ඇතැයි අපිට සිතිය නොහැකියි. ඒ නිසා අපි සියලූ දෙනා මෙම සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට කැපවී සිටින බව මහා නායක හිමිවරුන්ට සහ දෙපාර්ශවරයේ කාරක සභා හිමිවරුන් ඉදිරියේ මා ප්‍රකාශ කිරීමට කැමතියි.

රජයක් වශයෙන් සෑම අංශයකම බෞද්ධ කටයුතු දියුණු කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. එබැවින් එම රජයේ සාමාජිකයෙකුට මෙම ගෞරවය ලබාදීම ගැන අපි ආඩම්බර වෙනවා සේම අස්ගිරි මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේලාට ඒ පිළිබඳව මා ස්තුතිය පළ කරනවා.

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment