Lanka Morning

සර්ව පාක්‍ෂික සහ සර්ව ආගමික සමුළුවක් කැඳවා කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සොයමු – ඇමති චම්පිකගෙන් යෝජනාවක්

සර්ව පාක්‍ෂික සහ සර්ව ආගමික සමුළුවක් කැඳවා කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සොයමු – ඇමති චම්පිකගෙන් යෝජනාවක්

සර්ව පාක්‍ෂික සහ සර්ව ආගමික සමුළුවක් කැඳවා කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් සොයමු – ඇමති චම්පිකගෙන් යෝජනාවක්
March 07
14:56 2018
  • සැමට සමානව කි‍්‍රයාත්මක වෙන ඍජු හා අපක්‍ෂපාතී නීතිය වහාම රටේ ස්ථාපිත විය යුතුයි.
  • වෛරයෙන්, කෝපාග්නියෙන්, හිතේ වේගයට මෙවන් ගැටුම් ඇති කර ගැනීමෙන් කිසිඳු ජන කණ්ඩායමකට වාසියක් අත් නොවේ.

පසුගිය දා අම්පාරේ ඇති වූ සිදුවීමත්, මීට පෙර දින කිහිපයකදී මහනුවර ආශ‍්‍රිත දිගන ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිදු වූ ගැටුම් හේතුවෙන් මිය ගිය අයගේ පවුල්වලට අපගේ ශෝකය පළ කරන බවත්, ගැටුම් හේතුවෙන් දේපල හානියට පත් වූ අයටත්, ශෝකය ප‍්‍රකාශ කරන බවත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක අද(7) දින පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් සඳහන් කළේ ය.

මෙම ගැටුම් හේතුවෙන් එම ප‍්‍රදේශවල කඩා වැටුණු ජන ජීවිත නැවත නගා සිටුවීම සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි. කෙසේ වෙතත් රට පුරා සෑම ප‍්‍රදේශයකම, සෑම දිනකම පෞද්ගලික ප‍්‍රශ්න, ගැටළු, අර්බුධ හේතුවෙන් විවිධ ගැටුම් හට ගනී. එළෙස ඇති වන ගැටුම් ජනවාර්ගික හෝ ආගමික ගැටුම් දක්වා වර්ධනය වීම නැවැත්වීමට ක්‍ෂණික තීන්දු තීරණ ගැනීම ඉතා අත්‍යාවශ්‍යයි. මෙම සිදුවීම ඇතිවීමට පසුබිම දින කිහිපයක් තිස්සේ සමාජයේ නිර්මාණය වූ අතර සමාජ ජලා ඔස්සේ ද ඇතැම් අන්තගාමී තොරතුරු සහ ප‍්‍රකාශන ව්‍යාප්ත විණි. එම තත්වයන් යටතේ ද කිසිඳු විධිමත් පරීක්‍ෂණයක් නොකිරීමෙන් වටිනා මිනිස් ජීවිත අහිමි වීම මෙන්ම ප‍්‍රදේශයේ ජන ජීවිත ද අඩාල වන තත්වයකට මේ වන විට පත්ව ඇත. ඒ අනුව පෙර කි‍්‍රයාත්මක වූ පරිදි ශ‍්‍රී ලංකා පොලීසිය යටතේ ක්‍ෂණික විහිඳුම් බලකායක් වහාම ඇති කිරීමට තමන් යෝජනා කරන බව අමාත්‍ය චම්පික රණවක පවසයි. තවද රාජ්‍ය බුද්ධි අංශයේ තොරතුරු නිවැරදිව හා විශ්ලේෂණාත්මකව සුදුසු අන්දමින් කි‍්‍රයාත්මක කිරීම ද කළ යුතුව ඇත.

එක් එක් කණ්ඩායමට හෝ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි රටේ නීතිය අතට ගැන්මට ඉඩ නොදී  ඕනෑම ආකාරයක ආගමික කණ්ඩායමක් වේවා, ජන කණ්ඩායමක් වේවා, දේශපාලන හෝ වෙනත් පක්ෂ සංවිධාන වේවා ඒ ඒ අයගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන නීතියක් නොවී සැමට පොදුව, ඍජුව, අපක්‍ෂපාතීව නීතිය කි‍්‍රයාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. රටේ පවතින මතයක් නම් එක් පාර්ශවයකට පමණක්, එක් කණ්ඩායමකට පමණක් නීතිය ක‍්‍රියාත්මක වුවත් අති බහුතරයකට නීතිය කි‍්‍රයාත්මක නොවන බවයි. එමනිසා සැමට සමානව නීතිය ක‍්‍රියාත්මක වන බව සමාජය ඉදිරියේ ඔප්පු කිරීමට පොලීසියට දැඩි වගකීමක් පවතී. ඒ සඳහා අවශ්‍ය වටපිටාව රටේ ස්ථාපිත ස්වාධින පොලිස් කොමිසම හරහා පොලිසියේ සෑම නිලධාරියෙකුටම උදා කර දී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වෛරයෙන්, කෝපාග්නියෙන්, හිතේ වේගයට මෙවන් ගැටුම් ඇති කර ගැනීමෙන් කිසිඳු ජන කණ්ඩායමකට වාසියක් අත් නොවන බවත් ඉතිහාසය පුරාවටම වාර්තා වූ එවන් සෑම අවස්ථාවකදීම සිදු වී ඇත්තේ එම ආගමික කණ්ඩායමට හෝ එම ජාතියට පාඩුවක්ම පමණි. මේ අවස්ථාවේදී ද මෙම සිදුවීම් හරහා ශ‍්‍රී ලංකාවේ රණවිරුවන්ට එරෙහිව ජිනීවාවල ඇතැම් අන්තගාමීන් විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාජ ප‍්‍රචාර සඳහා මෙවන් සිදුවීම් ආශ‍්‍රයෙන් උඩ ගෙඩි සපයන බව අමාත්‍යවරයා පවසයි. එමෙන්ම තවත් පිරිසක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම සිදුවීම් යොදා ගනිමින් තිබේ. එවන් දේශපාලන සූකරයන්ගේ ගොදුරු බවට මෙම සිදුවීම් පත් වීම වැලැක්වීමට පියවර ගත යුතු ය. ඒ අනුව තමන් අතිගරු ජනාධිපතිතුමාටත් රජයටත් යෝජනා කර සිටින්නේ වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා මෙම තත්වය පිළිබඳ සාකච්ඡා කොට මෙවන් තත්වයන් ඉදිරියේදී වලක්වා ගැනීම සඳහා වන තීන්දු තීරණ ලබාගෙන ඒවා නිවැරදිව සමාජ ගත කරන ලෙසයි. එමෙන්ම මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප‍්‍රමුඛත්වයෙන් ආගමික නායකයින් එක්රැස් කොට සර්ව ආගමික සමුළුවක් පවත්වා මෙවන් තත්වයන් ඇතිවීම වැලැක්වීමට කළ හැකි සහ කළයුතු කරුණු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර එකඟත්වයකට පැමිණිය යුතු බවයි.

මෙවන් ගැටුම් සිදුවීමට තුඩු දෙන සහ ගැටුම් ඇතිවීමෙන් පසුව ඒවා සාවද්‍ය අන්දමින් සමාජගත කරන ප‍්‍රධාන මාධ්‍ය, සමාජ මාධ්‍ය, සූකර දේශපාලනඥයින්ට සහ පුද්ගලයන්ට එරෙහිව රටේ පවතින නීතිය අනුව කි‍්‍රයාත්මක විය යුතු වේ. එසේ නොවන සෑම අවස්ථාවකම අර්බුධ ඇතිවීමේ සහ පැතිරීමේ ප‍්‍රවණතාව සීග‍්‍රයෙන් ඉහළ යා හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෑත කාලීනව වැඩි අවස්ථා ප‍්‍රමාණයක දී ඒ ඒ ප‍්‍රශ්නවලට අදාල තීන්දු තීරණ ලබා නොදීමත්, නීතිය කි‍්‍රයාත්මක නොවීමත් හේතුවෙන් මෙවන් අර්බුධ උද්ගත වී ඇත.

මාධ්‍ය ඉදිරියේ රඟපාන, වැඩි අවධානයක් දිනාගත හැකි ප‍්‍රකාශ නිකුත් කරන දේශපාලනඥයින්ට අදවන විට වැඩි ඉල්ලූමක් සහ වැඩි ඉඩකඩක් මාධ්‍ය වෙතින් ලබාදෙයි. එම ප‍්‍රකාශ නිවැරදිද නැද්ද කියන සාධකය සම්බන්ධයෙන් කිසිඳු වගවීමක්, කිසිඳු පාර්ශවයක් ලබා නොදෙයි. සමාජයේ විශ්වාසනීයත්වය බිඳ වැටීමට මෙය ද ප‍්‍රධාන සාධකයක් වී ඇත. අද මලකඳන් අපේක්‍ෂාවෙන් ලේ වගුරවල් දැකීමේ ආශාවෙන් තමන්ගේ දේශපාලන අරමුණු වෙත ගොඩවීමට අපේක්‍ෂා කරන සූකර දේශපාලන කණ්ඩායමක් පවතී. තවත් අවස්ථාවක ව්‍යාජ ප‍්‍රකාශ නිකුත් කරමින් සමාජය බිය වැද්දවීමේ නින්දිත ව්‍යාපාරයක ද ඔවුන් නිරත වේ. මේ සියළු තත්වයන් වටහා ගැනීමත් ඒවා නිවැරදිව වාර්තා කිරීමත්, ඒවා නිවැරදිව අවබෝධ කර ගැනීමත් සියළු දෙනාගේ යහපත වෙනුවෙන් අත්‍යාවශ්‍ය වේ. ගැටුම් සිදුවී ඇති ප‍්‍රදේශවල සියළු ආගමික සිද්ධස්ථාන සඳහා අවශ්‍ය ආරක්‍ෂාව, රාජ්‍ය ආරක්‍ෂාව යටතේ ති‍්‍රවිධ හමුදාව විසින් ලබාදේ. එහෙයින් කිසිඳු ආකාරයක භීතියක් ඇතිකරගත යුතු නැතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී. තවද මෙවන් තත්වයන් හමුවේදී ආරක්‍ෂක හමුදා සමග ගැටුමට නොගිහින් ඔවුන්ගේ රාජකාරී සඳහා සහය ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටී.

බෞද්ධයාගේ මුදුන් මල්කඩවන ශ‍්‍රී දළදා මාලිගාවට ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී ද මහනුවර ජනතාව ඉතා උපේක්‍ෂාවෙන් රටේ නීතියට ගරු කරමින් කටයුතු කල ජනතාවකි. මෙවන් සිදුවීමක දී ඔවුන් කලහකාරී අන්දමින් කටයුතු කිරීමේ සැඟවුණු කි‍්‍රයාදාමයක් ඇත්දැයි සෙවිය යුතු වේ.

අප ජාතික හෙළ උරුමය වශයෙන් අවධාරණය කර සිටින්නේ සහ සියළු ආගමිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් මෝඩ, මුග්ධ ක‍්‍රියාදාමයන්ට දායක වීමෙන් හෝ මැදිහත්වීමෙන් කිසිඳු යහපතක් තමන්ට, තම ජාතියට, තම ආගමට හෝ මේ රටට අත් නොවන බවයි. එමෙන්ම නීතිය රකින සෑම ආයතනයකින්ම අප ඉල්ලා සිටින්නේ සියළු පාර්ශවයන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී ඍජුව අපක්‍ෂපාතීව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසයි. තවද මෙම ගැටුම් ආශ‍්‍රිතව යම් හෝ කුමන්ත‍්‍රණ කරුවන් වේද ඔවුන්ව වහා හඳුනාගෙන පෙර පරිදි නොව වහාම ඔවුන් හමුවේ නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ද අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉල්ලා සිටි

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment