Lanka Morning

තරුණ නායකයින්ට තැන නොදීම නිසා වමට වූ දේ යූඇන්පියටත් වේවි – ඇමති චම්පික

තරුණ නායකයින්ට තැන නොදීම නිසා වමට වූ දේ යූඇන්පියටත් වේවි – ඇමති චම්පික

තරුණ නායකයින්ට තැන නොදීම නිසා වමට වූ දේ යූඇන්පියටත් වේවි – ඇමති චම්පික
March 28
21:56 2018

‘වමේ ව්‍යාපාරය දේශපාලන වශයෙන් අවසන් ගමන් ගියා. මේ ආකාරයට ගියොත් එවැනි තත්වයක් එක්සත් ජාතික පක්ෂයටත් සිදුවිය හැකියි. ඒ නිසා අපි ලැහැස්ති නැහැ දේශපාලන මලගමේ යන්න. ඒ නිසා වෙනස් විය යුතුයි. වෙනස් වන්නේ නැති නම් වෙනස් කිරීමේ කි‍්‍රයාවලියට අපි ඉදිරිපත් වනවා කියන එක කියන්න  ඕනේ.‘ යි චම්පික රණවක ඇමැතිවරයා අද පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ 2018 පළාත් පාලන මැතිවරණයෙන් ජාතික හෙළ උරුමයෙන් තේරී පත් වූ සභිකයන් දිවුරුම් දීම හා හෙළ උරුමයේ සම්බන්ධිකාරක හා සංවිධායකධූර පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම උත්සවය මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේදී අද(28) දින පස්වරුවේ පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික රන්පත්විල විමලරතන හිමි, නියෝජ්‍ය අමාත්‍ය, ජාතික හෙළ උරුමයේ සම සභාපති කරුණාරත්න පරණවිතාන, ජාතික හෙළ උරුමයෙ ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ, ජාතික හෙළ උරුමයේ සම සභාපති පළාත් සභා මන්ත‍්‍රීනි නිරෝෂා අතුකොරල යන මහත්ම මහත්මීන්ද එක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපි ආණ්ඩුවට එකතුවෙලා කටේ සද්දෙට දූෂණයට විරුද්ධ වෙච්ච පිරිසක්වත්, කටේ සද්දෙන් රට සංවර්ධනය කළ පිරිසක්වත් එහෙම නැත්නම් කටේ සද්දෙන් අනෙක් අයට අපහාස උපහාස කරපු පිරිසක්වත් නෙමෙයි. මේ රටේ දේශපාලනයේ බලගතු හැරවුම් ලක්‍ෂ ගණනාවක් ලබාදීලා, ඒ වගේම සංවර්ධනය ආදී ක්‍ෂෙත‍්‍රවල මහඟු ආදර්ශයන් මෙරටට ලබාදුන්නා. ඒ විනය, ඒ එඩිතර භාවය ඔබ සියළු දෙනාම ඉදිරි කාලයේදී ඉදිරිපත් වෙලා කටයුතු කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා.

පසුගිය මැතිවරණයේදී මෙරට ජනමාධ්‍ය විසින් ඉතාමත් නින්දිත විදිහට වැරදි ප‍්‍රතිශත ඉදිරිපත් කරලා ජනතාව නොමග යවනු ලැබුවා. ඒවා නිවැරදි කළහම අපට විරුද්ධව කාටූන් ඇඳ තිබුණා. මේ මැතිවරණයේදී ඡුන්දය පාවිච්චි නොකළ පිරිස ලක්‍ෂ 13 කට අධිකයි. ලක්‍ෂ 13 ක ජනතාවක් මේ ප‍්‍රධාන පක්ෂ එකකටවත් තමන්ගේ ඡුන්දය පාවිච්චි නොකල බව ප‍්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ අලූත්ම ප‍්‍රවණතාවයක් මෙමගින් අද පෙන්වා තිබෙනවා මේ ජනතාව. ඒ වගේම සම්ප‍්‍රදායක දේශපාලන පක්ෂ පසුබැස තිබෙනවා. විශේෂයෙන්ම දෙමළ සන්ධානය පවා මේ මැතිවරණයේදී පසු බැස තිබෙනවා. පසුගිය 2013 පළාත් සභා මැතිවරණයේදී උතුරේ ඡන්දවලින් යාපනයෙන් 70% ක් දෙමළ සන්ධානයට ලැබුණා. මෙවර ලැබී තිබෙන්නේ 34% යි. ඒ වගේම කිසිම ප‍්‍රාදේශීය සභාවක 50%ඉලක්කය ලැබිලා නැහැ. ඒ වගේම අපට පේනවා සෑම දේශපාලන පක්ෂයකටම පසු බැසීමක් ඇතිවෙලා තිබෙන බව. ඒ වගේම මේ මැතිවරණ ප‍්‍රතිඵලයත් සමග අපට පළාත් සභා මැතිවරණයකුත් එනවා. එම මැතිවරණයත් කොට්ඨාශ ක‍්‍රමයට කාන්තා නියෝජනයක් ඇතිව වෙනස් කළා. පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් අත් දැකීම්වලින් පළාත් සභා මැතිවරණයෙත් අවශ්‍ය වෙනස්කම් දැන් සිදු කළ යුතුයි. අපි මතක තබා ගත යුතුයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුලූල් කරනවා කරනවා කියලා අස්ථාවර පාලනයක් ඇති කරනවා නම්, ප‍්‍රාදේශීය සභාව වේවා, පළාත් සභාව වේවා,  පාර්ලිමේන්තුව වේවා එවැනි ඡුන්ද ක‍්‍රමයකින් ප‍්‍රයෝජනයක් නැහැ.

ඒ නිසා ස්ථාවර පාලනයක් ඇතිවන විදිහටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇතිවන විදිහට සමබරතාවයකින් යුතුව ඒ කටයුත්ත අපි ඉටු කළ යුතුයි. වේදිකාවල මහින්ද සුළඟකියලා කිව්වට එහි පාලකයා බැසිල් රාජපක්ෂ.2010 සිට එන මැතිවරණ දිහා බැලූවහම ඔහු කර ඇති හපන්කම තමයි මේ ලක්‍ෂ 50 ක් පමණ වන ඡන්ද ප‍්‍රමාණයක් රඳවා ගන්න හැකිවීම. මහින්ද රාජපක්ෂ මහත්මයාට 2010 මැතිවරණයේදී 55% ක් රටේ ඡුන්ද ගත්තා. හැබැයි එය 2015 ජනාධිපතිවරණයේදී 47% ක් උනා. 2015මහමැතිවරණයේදී 42% ක් උනා. ඒ වගේම 2018 පළාත් පාලන මැතිවරණයේදී 39% ක් උනා. ඒ අනුව මහින්ද සුළඟ 55% ඉඳන් 39% ට බැහැගෙන යන සුළඟක් බව අප මතක තබා ගත යුතුයි. ඒ වගේම 2019 නොවැම්බර් තිබෙන ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මකයි. එය ජය ගැනීමට නම් 50%ට වැඩි විය යුතුයි. ඒක නිසා ඒ මැතිවරණයට තමයි අප පෙළ ගැසිය යුත්තේ.

ඒ සඳහා වහාම ආණ්ඩුවේ සංවර්ධන, සමාජ දේශපාලන වැඩපිළිවෙල වෙනස් විය යුතුයි. අපි මේවා කතා කර කර ඉඳලා වැඩක් නැහැ අපි කෙලින්ම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා කරුණු 45 කින් යුතු යෝජනවක්. එහි ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වහාම විසඳිය යුතු ගැටළු ගණනාවක් අපි අවධාරණය කර තිබෙනවා. පානීය ජල ගැටළුව, කෘෂිකර්මාන්තය සඳහා ජලය සැපයීම, විදුලිබල ක්‍ෂෙත‍්‍රය, වරාය, ගුවන්තොටුපල හා ප‍්‍රවාහනසේවා වැනි මහජනතාව ඍජුව බලපාන ගැටළු පිළිබඳව වහාම පියවර ගත යුතුයි.

රටක් ඉදිරියට යන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තරුණ පිරිසට නායකත්වය දිය යුතුයි. ජනාධිපතිතුමාගේ පැත්තට ඡුන්දය දුන් ලක්‍ෂ 17 යි අගමැතිතුමා ඇතුළු මේ පැත්තට දුන් ලක්‍ෂ 36 දෙකම එකට එකතු කර ගන්න පුළුවන් වෙන්නේ ඒ පක්ෂ දෙකේ සිටින තරුණ පිරිසට බලය ලබාදීමෙන් පමණයි. එය ප‍්‍රතික්ෂේප කරන හැම කෙනෙකුටම සිදුවන්නේ රාජපක්ෂගේ උන්මත්තක පවුලවාදී දේශපාලනයට පාර කැපීම විතරයි. ඒ නිසා මිනිසුන් පුරුදු විය යුතුයි දේශපාලනයෙන් ඉවත් විය යුතු වෙලාවට ඉවත්වන්න, පයින් ගසා ඉවත් කිරීමට කලින්. එහෙම ඉවත් නොකරන තාක්කල් සිදුවනුයේ එම පක්ෂත් පරාභවයට යනවා. ඒ දේශපාලනයත් පරාභවයට යනවා. එයට හොඳම උදාහරණය තමයි මෙරට වාමාංශික දේශපාලනය. සමසමාජ කොමියුනිස්ට් දේශපාලනය. ඇන්.ඇම් පෙරේරා මහත්මයා අවුරුදු 80 ගණනක් වෙනකන් නායකයා. එතුමා මිය ගියාට පසුව අවුරුදු 78 ක් වූ කොල්වින් නායකයා. කොල්වින් මිය යන විට අවුරුදු 80 ගණනක් වූ බර්නාඞ් නායකයා. ඒ විදිහට හැමදාම කොමියුනිස්ට් පක්ෂයේ තරුණ පිරිසට කිසිම අවස්ථාවක ඉඩකඩක් ලබාදුන්නේ නැහැ. අවුරුදු විසි තිස් ගණන් එකම නායකත්වය පල් වෙවි තිබුණා. 77මැතිවරණයේදී ඔවුන්ට ඡුන්ද ලක්‍ෂ 7 කට ආසන්න ප‍්‍රමාණයක් ලැබුණා. ඔවුන් කවුරුවත් අවබෝධ කර ගත්තේ නැහැ 77 මැතිවරණය කියන්නේ මෙරට වාමාංශික ව්‍යාපාරයේ අවසන් මැතිවරණය කියන එක. 1935 දී තිබූ පැරණි අභිමානය ගැන කතා පවත්ව පවත්ව හිටියා ඒ ගැන හිතුවෙ නැහැ. 1982 මැතිවරණය ආවා. වාසුට17000 යි, කොල්වින්ට 50,000 යි. වමේ ව්‍යාපාරය දේශපාලන වශයෙන් අවසන් ගමන් ගියා. මේ ආකාරයට ගියොත් එවැනි තත්වයක් එක්සත් ජාතික පක්ෂයටත් සිදුවිය හැකියි. ඒ නිසා අපි ලැහැස්ති නැහැ දේශපාලන මලගමේ යන්න. ඒ නිසා වෙනස් විය යුතුයි. වෙනස් වන්නේ නැති නම් වෙනස් කිරීමේ කි‍්‍රයාවලියට අපි ඉදිරිපත් වනවා කියන එක කියන්න  ඕනේ.

ඒ නිසා වහාම යුහුව කළ යුතු ආර්ථික සමාජ දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ වෙනස් කම් පමණක් නෙමෙයි සියළුම වැඩ කිරීමේ වගකීම හැකියා පූර්ණ තරුණ පිරිසට එක්සත් ජාතික පක්ෂයෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ඒ සමගම ඒවත් සමග ගැට ගැසී ඇති අනෙක් පක්ෂවල පිරිස්වලටත් මෙම වගකීම් බාරදී ඉදිරි මාස 18 කි‍්‍රයා කරලා අපි පොදු අපේක්‍ෂකයෙක් ගෙනල්ල නැවත වතාවක් ජනාධිපතිවරණය ජයගන්න කටයුතු කිරීම සඳහා ගම් මට්ටමින් බිම් මට්ටමින් කටයුතු කරමු.

ඒ වගේම මේ රට ෆෙඩරල් රටක් කරන්න නැවත ඉඩක් නැති බව ඉතාම පැහැදිලියි. ඒ නිසා අපි සියළු දෙනාම මේ තියන තත්වය පිළිගෙන රටේ අනාගත සාමය සමෘද්ධිය, සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරමු. රටේ එකීය භාවය අපි කිසි විටෙක වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම රටේ අනාගත ඉදිරි ආර්ථික ගමන් මගත් වෙනස් කළ යුතුයි. ඒ නිසා තමයි අපි යෝජනා කලේ නවෝත්පාදන ආර්ථිකයක්. කුසලතාවයට මුල්තැන දෙන රටක්. අපේ අමාත්‍යාංශ මූල්‍ය වශයෙන් ශක්තිමත් කරද්දි, පදවි තනතුරු දෙද්දි අපි අපේ පාක්ෂිකයන්ට දීලා නෙමෙයි, කුසලතාවය ඇති පිරිස්වලට මුල්තැන දී තමයි අපේ අමාත්‍යාංශවල ජයග‍්‍රහණ ලබාගැනීමට කටයුතු කරන්නේ. එම ජයග‍්‍රහණ අනාගතයේ රටටත් විශාල ආදර්ශයක් බවට පත් කර තිබෙන්නේ යැයි පැවසීය.

 

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment