Lanka Morning

එඩ්නා සුගතපාල දිවි රඟමඩලින් සමුගනී

එඩ්නා සුගතපාල දිවි රඟමඩලින් සමුගනී

එඩ්නා සුගතපාල දිවි රඟමඩලින් සමුගනී
March 17
09:23 2018

60 දශකයේ සිනමා අඹරට පෑයූ තාරකාවක් වන එඩ්නා සුගතපාල පසුගිය 14 වෙනිදා සිය ජීවන රඟමඩලින් සදහටම සමුගත්තාය.

1965 දී තිරගත වූ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘සැනසුම කොතැනද’ චිත්‍රපටයෙන් සිය කුළුඳුල් රංගනය ඉදිරිපත් කළ ඇය එහි එන ‘සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී’ ගීතයට රංගනයෙන් දායක වූවාය. ඉන්පසු ඇය මිරිඟුව, සෙනෙහස, වීදුරුගෙවල්, සුරයන්ගෙත් සූරයා වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූවාය. ලෙනී ලියනගේ නමැති ව්‍යාපාරිකයෙකුගේ සෙනෙහෙබර බිරිඳක් වීම නිසා රංගනයෙන් සමුගත් ඇය ව්‍යපාරික කටයුතුවල නියැලුනාය.

ටික කලක් සිනමා රංගනයෙන් ඉවත්ව සිටි ඇය පසුකලෙක යසපාලිත නානායක්කාරගේ නැවත හමුවෙමු, සුනිල්සෝම පීරිස්ගේ ඔබට දිව්රා කියන්නම්, රෝස කැකුළ. උණ්ඩය වැනි චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූවාය. ඇය කුමාරිහාමි, තරණය, ජයග්‍රහණය, මකර විජිතය වැනි ටෙලි නාට්‍ය කිහිපයකටද රංගනයෙන් දායක වී ඇත.

විශාල ‍සිනමාපට සංඛ්‍යාවල රඟපා නැතත් එඩ්නා සුගතපාල ඇගේ නම සිනමා ලෝලයන්ගේ මතකයේ රඳවා තැබීමට ඇය සමත් වූවාය. ඇය දක්ෂ පියානෝ වාදන ශිල්පිනියක බව ද සඳහන් කළ යුතුමය. ආගන්තුක සත්කාරයෙහි මහත් ලැදියාවක් දක්වන ඇය තමා රඟපෑ චිත්‍රපටවල නිශ්චල සේයාරූ පමණක් නොව පුවත්පත් දැන්වීම්, පොස්ටර් පවා ආශාවෙන් එකතු කළා පමණක් නොව ඒවා ඉතා පිළිවෙලකට සුරක්ෂිතව තබා ගත්තාය. ඇය හමුවන්නට එන පුවත්පත් කලාවේදින්ට, කලාකරුවන්ට ඒවා ඇය පෙන්වූයේ ආශාවෙනි. ජ්‍යොතිෂය පිළිබඳ හසල දැනුමක් තිබූ ඇය. ජීවිතයේ සැඳෑ සමයේ ජ්‍යොතිෂ කටයුතු වල නිරත වූවාය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිළිබඳ හැමවිටම ගරුත්වයකින් කතා කළ ඇය පුවත්පත් කලාවේදින් සමඟ සහයෝගයෙන් කටයුතු කළ නිළියකි. වත්මන් කලා ශිල්පීන්ට ශිල්පිනියන්ට ඇගෙන් උගත යුතු පාඩම් බොහෝය. ඇය වැනි නිහතමානී රංගන ශිල්පිනියකගේ සමුගැන්ම විශාල හිඩැසක් ලෙස දැනෙන්නේ වත්මන් අතිධාවනකාරී, තරඟකාර රැල්ලේ ව්‍යාජ හැසිරීම් දුටු විටය. එඩ්නා සුගතපාල කලා ශිල්පිනියනි අද පමණක් නොව මතුවටත් ඔබ දිවියේ විදාහල මනුෂත්වයේ සුවඳ පවතිනු ඇත.

ජීවත්ව සිටිය දී කළ ඉල්ලීමක් අනුව දේහය වෛද්‍ය විද්‍යාලයට බාර දුන් බව ආගේ දියණියක වන වීනා ප්‍රනාන්දු පැවසුවා ය.

මනෝජ් රූපසිංහ

Related Articles

0 Comments

No Comments Yet!

There are no comments at the moment, do you want to add one?

Write a comment

Write a Comment